Thursday, 25 October 2012

නුඹේ කවිය

සිතුම් එක් තැන්කරපු හීනයක් තියනවා
 නුඹ හොරෙන් ඒ හීනෙ බිදින්නට හදනවා
 ඇවිද ගිය මල් පාරෙ මල් පරව හැලෙනවා
 අඬන්නට හිතෙන මුත් නෙත නොහඬ ඉන්නවා


ගොතන හැම කවියක්ම ඔබට බව දන්නවා
 ඒ දන්න මුත් ඔයා නොදත් සේ ඉන්නවා
 නුඹ නොලියු කවිය මම සිත රවට ගන්නවා
 රැවටිච්ච ඒ සිතම ඔබට කවි ලියනවා

Friday, 12 October 2012

බඹර ගීතය

.
පෙරදා වැතිරිලා ඔය මුදු පෙති මත්තේ
පිනි කැට වැටුණු සුසුමුදු මුව සිප ගත්තේ
පිපිලා තිබුණු මුත් කොතෙකුත් මල් අත්තේ
තනි වුණු කුසුම ඇයි නුඹ මගෙ හිත ගත්තේ

සුපිපුණු මලේ සුපිරුණු රස මකරන්ද
උණුසුම් සුවඳ විද තුරුලේ ගිය  නින්ද
පිනිකැට වැටුණු පෙති වල අම සුව වින්ද
මතකෙට නැගෙන විට වාවනු  පුළුවන්ද

ගෙන මල් සුවඳ හමනා මද පවන දඟ
කිව්වා ඉහළ අත්තක නුඹ පිපුණු    වග
වැට ඇහිරුවා මිහිලොල් එන අතර මග
උන් දැනගන්න ඇති මා විස තුඩෙහි  රග

සූරුය උදා වී අරුණලු වැටෙන    කොට
වනයට නොවේ නුබෙ උරුමය මිඳුලකට
පිනි ඉහිරිලා මද සුළගේ වැනෙනකොට
ලන් කර ගන්න හිතෙනව නුඹ තුරුළුකොට

කීවත් මගේ ගැන ගතු පවනැල්ල ඇදී
එමි නුඹ වෙතට දහසක් මල් වලින් මිදී
සමනලු කොතෙක් ආවත් සිප ගන්න නොදී
මගෙ මල් කැකුළ වීයන් මගෙ දිනය  කදී


Friday, 13 July 2012

නුඹ නැති දා.......

උණුසුමක් වෙලා හිද හිම වැටෙන රැයෙ සීත
හීනයෙන් ඇහැරලා නුඹ ගිහින් දුර     ඈත
අදරේ යැ‍යි කිව්ව ගුලි කරන් මුදු     දෑත
මතකයෙන් නොම මිදී ලියනු බෑ කවි ගීත

එළිය පුන් සඳ ඔබයි අසළ මම පොඩි  තරුව
සුවඳ තාමත් දැනෙයි සන්සාරෙ ආ   හුරුව
බිදුනු පෙම් හිත ගාව සුසුම් වැල් පද පිරුව
දිනෙක අත් වැල ලිහී අතර මග තනි  කෙරුව

Tuesday, 3 July 2012

මිනිඹිරියගෙන් අත්තම්මාට

රෑ අහසේ සඳ ගාවින් තරුවක් නිවි නිවි දිලේවි
ඒ අතරින් අත්තම්මගෙ සුදු මුව මැවි මැවි පෙනේවි
මේ පාරත් මගෙ අම්මා මාව අරන් ගමට එවී
නුඹ නොහිටියහොතින් එහෙම පුන්චි හිතට දුක හිතේවි

පෙරදා තුරුලට අරගන කවි පද නුඹ කියා දුන්න
සිගිති හඬින් මම ගයනවා අත්තම්මේ අහන් ඉන්න
ඉවසිල්ලක් නෑ එනතුරු මට නුඹෙ ඔය මුව දකින්න
මම එනතුරු ඉදිකඩ ළඟ අත්තම්මේ බලන් ඉන්න

සදළුතලේ නැති සුවයක් නුඹෙ උණුසුමෙ මට දැනෙනවා
හෙල හැදියාවට ලොකු වෙන හැටි නුඹ මට කියලා දෙනවා
ගහේ වැලේ ගෙඩි කඩමින් ඇලේ දොළේ පැන නටනවා
ගිරා කොවුල් බට්ටිච්චෝ මම එනකන් මග බලනවා

පත් ඉරු මත සෙනේ සුවඳ පිටු ගාන්ණක් කවි ලියන්න
අත් පොඩි දෙක එකතු කරලා උදේ හවස හැක වදින්න
සිත් අරනේ ඇති පාළුව හැකිවෙයි මට දුරු කරන්න
අත්තම්මේ පාත් වෙන්න සුදු මුව චුට්ටක් ඉඹින්න

Saturday, 30 June 2012

බඹරෝ නුඹ යලි එන විට



පිපුණත් අව් කාෂ්ඨකේ නොම වියැලුන මලේ
නුඹේ සුවඳ හැමදාමත් බඹරු වසඟ කලේ
නෙලා ගන්න අතදිග නෑ පිපුන නෙළුම විලේ
රුවැති මලේ සෙනේ සුවඳ නුඹෙන් කඩා හැලේ

හිරු තෙම නැග එන්න කලින් මොහොතක සුව පතා

සීතල පිණි බිදක් එක්ක කලත් මුකුළු කතා
පාට පාට සමනලයකු කැරකුන බව ගොතා
ලෙලෙනා සුළගට හැකිවෙද පතුරුවන්න කතා

වැදී නටුව අග කටුවක් බඹරිදු නද දෙන්නේ

මල් පෙති මත සමනල සලකුනු සොයමින් යන්නේ
රටා ඇන්ද මද සුළගේ මුනිවත සුරකින්නේ
මලක මෙලෙක බඹර සිතක් නෑ තව හදුනන්නේ

නෑඹුල් මල් සුවඳ අරන් හෙට තව මල් පිපෙවී

ඒ මල් කිති කවමින් සමනලු මල් රොන් උරාවී
බඹර තුඩග රැදි උනුසුම මල ළග තනි රකීවී
බඹරෝ නුඹ යලි එන විට ඇය මිලිනව තියෙවී

Friday, 29 June 2012

පොඩි දූට

විලකට හැඩයි ඇත්නම් පිපි විලේ                 පියුම්
මලකට හැඩයි එහි ඇති පෙති තියන              සියුම්
සිතකට සුවයි නෙක සිතුවිලි පුරන               පෙරුම්
මවකට  අගෙයි පිවිතුරු හොඳ දුවෙක්               උතුම්

සුන් දර කවිය පන්හිද මෙතුවක්                 ලිව්ව
පින් සර සුවඳ නුඹ අම්මගෙ හිත                නිව්ව
මන් දිර සදළුතල නොව මහ ගිරි                 පව්ව
නිම් තෙර අසල සැනහෙමි නුඹ විත්            මැව්ව

පැහැසර උදෑසන නටනා පිණි                 බින්දූ
ඇහැ වගෙ බලාගන කිව්වා ගී                  සින්දූ
නැහැමොහොතකටවත් නෙත වෙනතක     රැන්දූ
පැහැසරණියේ මට මනු ලොව සිරි            කැන්දූ

පිණි කැටයක් වගේ නලවන මලක           පෙතී
දිණි තිය සොබාදම රැකවල් කරයි              නිතී
මිණිමුතු කණක සොර සතුරන්  අතට         යතී
හිණි පෙත සොයා ඉගනුම කෙරුවොතින්    ඇතී

ගන්වා සිනා හසරැලි මල් මුව            පොඩිය
අල්වා අතැඟිල්ල නිවැරදි මඟ             අඩිය
නන්වා මිනිස් කම ලෙලදෙන ජය    කොඩිය
පෙන්වා දියන් ලෝකෙට ළදකගෙ    එඩිය

Monday, 25 June 2012

මැණිකෙගෙ වරුණ

සූරිය උදාවන විට ඉරගල කන්දේ
මැණිකෙගෙ මුව අගෙයි මුදු හසරැලි ඇන්දේ
ඇය පා තබා යන තාලෙට බට ලන්දේ
ළැම සාපැටව් නොම ඇහැරී සැප නින්දේ

මත් වී බිඟුන් වන මැද රොන් සොයනවලු
නෙක නෙක රටා මද සුළගත් අදිනවලු
දී රැක වරණ මැණිකෙට ඉග නෙරිය සලු
වැටෙනා කඳුළු නාදලු පෙති පිසිනවලු