Thursday, 25 October 2012

නුඹේ කවිය

සිතුම් එක් තැන්කරපු හීනයක් තියනවා
 නුඹ හොරෙන් ඒ හීනෙ බිදින්නට හදනවා
 ඇවිද ගිය මල් පාරෙ මල් පරව හැලෙනවා
 අඬන්නට හිතෙන මුත් නෙත නොහඬ ඉන්නවා


ගොතන හැම කවියක්ම ඔබට බව දන්නවා
 ඒ දන්න මුත් ඔයා නොදත් සේ ඉන්නවා
 නුඹ නොලියු කවිය මම සිත රවට ගන්නවා
 රැවටිච්ච ඒ සිතම ඔබට කවි ලියනවා

Friday, 12 October 2012

බඹර ගීතය

.
පෙරදා වැතිරිලා ඔය මුදු පෙති මත්තේ
පිනි කැට වැටුණු සුසුමුදු මුව සිප ගත්තේ
පිපිලා තිබුණු මුත් කොතෙකුත් මල් අත්තේ
තනි වුණු කුසුම ඇයි නුඹ මගෙ හිත ගත්තේ

සුපිපුණු මලේ සුපිරුණු රස මකරන්ද
උණුසුම් සුවඳ විද තුරුලේ ගිය  නින්ද
පිනිකැට වැටුණු පෙති වල අම සුව වින්ද
මතකෙට නැගෙන විට වාවනු  පුළුවන්ද

ගෙන මල් සුවඳ හමනා මද පවන දඟ
කිව්වා ඉහළ අත්තක නුඹ පිපුණු    වග
වැට ඇහිරුවා මිහිලොල් එන අතර මග
උන් දැනගන්න ඇති මා විස තුඩෙහි  රග

සූරුය උදා වී අරුණලු වැටෙන    කොට
වනයට නොවේ නුබෙ උරුමය මිඳුලකට
පිනි ඉහිරිලා මද සුළගේ වැනෙනකොට
ලන් කර ගන්න හිතෙනව නුඹ තුරුළුකොට

කීවත් මගේ ගැන ගතු පවනැල්ල ඇදී
එමි නුඹ වෙතට දහසක් මල් වලින් මිදී
සමනලු කොතෙක් ආවත් සිප ගන්න නොදී
මගෙ මල් කැකුළ වීයන් මගෙ දිනය  කදී


Friday, 13 July 2012

නුඹ නැති දා.......

උණුසුමක් වෙලා හිද හිම වැටෙන රැයෙ සීත
හීනයෙන් ඇහැරලා නුඹ ගිහින් දුර     ඈත
අදරේ යැ‍යි කිව්ව ගුලි කරන් මුදු     දෑත
මතකයෙන් නොම මිදී ලියනු බෑ කවි ගීත

එළිය පුන් සඳ ඔබයි අසළ මම පොඩි  තරුව
සුවඳ තාමත් දැනෙයි සන්සාරෙ ආ   හුරුව
බිදුනු පෙම් හිත ගාව සුසුම් වැල් පද පිරුව
දිනෙක අත් වැල ලිහී අතර මග තනි  කෙරුව

Tuesday, 3 July 2012

මිනිඹිරියගෙන් අත්තම්මාට

රෑ අහසේ සඳ ගාවින් තරුවක් නිවි නිවි දිලේවි
ඒ අතරින් අත්තම්මගෙ සුදු මුව මැවි මැවි පෙනේවි
මේ පාරත් මගෙ අම්මා මාව අරන් ගමට එවී
නුඹ නොහිටියහොතින් එහෙම පුන්චි හිතට දුක හිතේවි

පෙරදා තුරුලට අරගන කවි පද නුඹ කියා දුන්න
සිගිති හඬින් මම ගයනවා අත්තම්මේ අහන් ඉන්න
ඉවසිල්ලක් නෑ එනතුරු මට නුඹෙ ඔය මුව දකින්න
මම එනතුරු ඉදිකඩ ළඟ අත්තම්මේ බලන් ඉන්න

සදළුතලේ නැති සුවයක් නුඹෙ උණුසුමෙ මට දැනෙනවා
හෙල හැදියාවට ලොකු වෙන හැටි නුඹ මට කියලා දෙනවා
ගහේ වැලේ ගෙඩි කඩමින් ඇලේ දොළේ පැන නටනවා
ගිරා කොවුල් බට්ටිච්චෝ මම එනකන් මග බලනවා

පත් ඉරු මත සෙනේ සුවඳ පිටු ගාන්ණක් කවි ලියන්න
අත් පොඩි දෙක එකතු කරලා උදේ හවස හැක වදින්න
සිත් අරනේ ඇති පාළුව හැකිවෙයි මට දුරු කරන්න
අත්තම්මේ පාත් වෙන්න සුදු මුව චුට්ටක් ඉඹින්න

Saturday, 30 June 2012

බඹරෝ නුඹ යලි එන විට



පිපුණත් අව් කාෂ්ඨකේ නොම වියැලුන මලේ
නුඹේ සුවඳ හැමදාමත් බඹරු වසඟ කලේ
නෙලා ගන්න අතදිග නෑ පිපුන නෙළුම විලේ
රුවැති මලේ සෙනේ සුවඳ නුඹෙන් කඩා හැලේ

හිරු තෙම නැග එන්න කලින් මොහොතක සුව පතා

සීතල පිණි බිදක් එක්ක කලත් මුකුළු කතා
පාට පාට සමනලයකු කැරකුන බව ගොතා
ලෙලෙනා සුළගට හැකිවෙද පතුරුවන්න කතා

වැදී නටුව අග කටුවක් බඹරිදු නද දෙන්නේ

මල් පෙති මත සමනල සලකුනු සොයමින් යන්නේ
රටා ඇන්ද මද සුළගේ මුනිවත සුරකින්නේ
මලක මෙලෙක බඹර සිතක් නෑ තව හදුනන්නේ

නෑඹුල් මල් සුවඳ අරන් හෙට තව මල් පිපෙවී

ඒ මල් කිති කවමින් සමනලු මල් රොන් උරාවී
බඹර තුඩග රැදි උනුසුම මල ළග තනි රකීවී
බඹරෝ නුඹ යලි එන විට ඇය මිලිනව තියෙවී

Friday, 29 June 2012

පොඩි දූට

විලකට හැඩයි ඇත්නම් පිපි විලේ                 පියුම්
මලකට හැඩයි එහි ඇති පෙති තියන              සියුම්
සිතකට සුවයි නෙක සිතුවිලි පුරන               පෙරුම්
මවකට  අගෙයි පිවිතුරු හොඳ දුවෙක්               උතුම්

සුන් දර කවිය පන්හිද මෙතුවක්                 ලිව්ව
පින් සර සුවඳ නුඹ අම්මගෙ හිත                නිව්ව
මන් දිර සදළුතල නොව මහ ගිරි                 පව්ව
නිම් තෙර අසල සැනහෙමි නුඹ විත්            මැව්ව

පැහැසර උදෑසන නටනා පිණි                 බින්දූ
ඇහැ වගෙ බලාගන කිව්වා ගී                  සින්දූ
නැහැමොහොතකටවත් නෙත වෙනතක     රැන්දූ
පැහැසරණියේ මට මනු ලොව සිරි            කැන්දූ

පිණි කැටයක් වගේ නලවන මලක           පෙතී
දිණි තිය සොබාදම රැකවල් කරයි              නිතී
මිණිමුතු කණක සොර සතුරන්  අතට         යතී
හිණි පෙත සොයා ඉගනුම කෙරුවොතින්    ඇතී

ගන්වා සිනා හසරැලි මල් මුව            පොඩිය
අල්වා අතැඟිල්ල නිවැරදි මඟ             අඩිය
නන්වා මිනිස් කම ලෙලදෙන ජය    කොඩිය
පෙන්වා දියන් ලෝකෙට ළදකගෙ    එඩිය

Monday, 25 June 2012

මැණිකෙගෙ වරුණ

සූරිය උදාවන විට ඉරගල කන්දේ
මැණිකෙගෙ මුව අගෙයි මුදු හසරැලි ඇන්දේ
ඇය පා තබා යන තාලෙට බට ලන්දේ
ළැම සාපැටව් නොම ඇහැරී සැප නින්දේ

මත් වී බිඟුන් වන මැද රොන් සොයනවලු
නෙක නෙක රටා මද සුළගත් අදිනවලු
දී රැක වරණ මැණිකෙට ඉග නෙරිය සලු
වැටෙනා කඳුළු නාදලු පෙති පිසිනවලු

Sunday, 24 June 2012

හෙන්දිරික්කා මල් ගහ යට

ඉස්සර වාගෙම බැතියෙන් සඳ පෝයට ඇවිත්   යනවා
රටා ඇන්ඳ වැලි මිදුලේ තුරු පත් එක දෙක වැටෙනවා
පිණි වැස්සට මුවා වෙලා රෑහි හඬක් හඬ      තලනවා
හෙන්දිරික්කා මල් ගහ යට බට්ටිච්චෙක්  ඉකි බිදිනවා

පිපි රුක් මල් සුවඳ අරන් සිහිල් සුළං ගත සිඹිනවා
පෝය සඳට මුවා වෙලා වළා සේල සළු    උනනවා
නිල් කඳුයායට හිත දී කෙතේ කරල්  කිරි   වදිනවා
නිශා කතගෙ උවමනාව ඉන් පමණක් ඉටු කෙරෙනවා

පාන් පැලේ තාන් එළිය මදි වෙයි ඝනදුර   මකන්න
සේද වළාකුලේ එපා සඳේ එළිය හොරා     ගන්න
හිත අද්දර හුදකලාව තනිකම කුර ගගා    දුන්න
සිල්සුවඳට මුවා වෙලා හැකි වේවිද මකා    ගන්න

තුරු සෙවනැලි මත්තෙන් සඳ එළිය ගලා එන මිඳුලට
කඩුපුල් මල් දෑස් හරියි තුරුල් වෙලා සඳ    සිසිලට
කිමද පලක් සඳ එළියෙන් පාළු අඳුරු වන   වදුලට
මතකය තව තුරුළු වෙයන් සුවයක් වී නෙත කඳුලට

හිත පාරන අතීතයට බැරිනම් සිත වැට    බදින්න
වාන් දමන වේදනාව නොහැක කඳුළු දොර  වහන්න
ජීවිතේට ඉඩ දුන්නත් අතැඟිලි අතරින්   වැටෙන්න
බලාපොරොත්තුවේ එපා යලි මතකෙට පන පොවන්න

Wednesday, 20 June 2012

සුසුම් සුවඳ

සුවඳ කැකුළු මල් තලලා සමනලුන්ට පැණි උරන්න
පාට පාට කුරුල්ලන්ට හඬ දුන්නා ගී          කියන්න
සිත් විමනට සෙනෙහස දී කීතු කීතු කර         දමන්න
නුඹ කොහොමද එරෙහි වුනේ එය විතරක්  කියා දෙන්න

සීත පවන් දැවටිලා මල් මත තොල් පෙති         තියා
මලේ සුවඳ අරන් හෙමින් කොහෙදෝ ඈතට    ගියා
මතක කදුළු ඉතිරිලා හදේ කොනක කවි          ලියා
මෙතුවක් නොලියූ කවියක් දුන්නා නුඹ මට     කියා

රෑ හීනෙක හමු වෙලා අතැගිලි යුග      පටලලා
සුසුම් සුවද විද ගන්නට හිටියෙමි පෙර මග  බලා
කටුක කදුලු නෙත පුරා හීන ගියත් බොද    වෙලා
වස්සානය ගෙන දෝතට ඉමි පෙර මග නෙතු හෙලා

Tuesday, 19 June 2012

දූ එන මඟ

සමනලයෙකු තටු සලා
රෝස මලක හැංගිලා
තුරු වදුලේ බට්ටිච්චෙක්
හෙමිහිට එබිකම් කලා

පිපුනු කුසුම් අතු අඟ
නැමී කරටි එන මඟ
සිසිල් සුළං ගත සිබිනවා
වෙනදා වගෙ නෑ දඟ

පිනි අහුරක නෑවිලා
සුවඳ දසත පතුරලා
සමන් පොට්ටු ඇස් අරින්න
ඉන්නවා පෙරමඟ බලා

තිත්ත පැටව් වක්කඩ
අමතක කර කොක්තුඩ
පොරකන්නේ මේ විදිහට
බලන්න දියණිගෙ හැඩ

පැය දින සති වී ගෙන
ඇත කාලය ඉගිලෙන
සිගිති දෙපා ගැටුනු බිමේ
අද එයි ඇය දිවගෙන

ලැබ සක්විති විදුනැණ
අබරණ කුමටද වෙන
කිතුගොස මේ පවසන්නේ
කුලවත් දියණිගෙ ගුන

තුටු කඳූලැලි නෙත ඉනූ
සිතුවිලි කඳ ඉවසනූ
දෙපා වැළද නමදින ඈ
සිප ගන්නට ඉඩ දෙනූ

Sunday, 10 June 2012

දයාබර අනුරුදය



සියපත් තඹර අතරේ පෙති පිරුනු ගොමූ
මිහිරද උරයි රොන් නාදය සමඟ ගුමූ
සුදු අරලියා සුවඳයි නිති පවනෙ හැමූ
විදු බිම අකුරු කළ සමරමි සිරස නැමූ

මව්නි දයාබර...!!

හිරු නැඟ එද්දි රන්අරුනළු කරලා___ මුදුන්
ගී පද ගයයි සියොතුන් කැල උයනෙ_ නදුන්
සිහිපත් කරන් කවි කම දුන් ගෙදර___ බුදුන්
දෙපතුල් නැමැඳ තවරන්නම් සුවඳ___ සඳුන්

අවසරයි මට....

කවියට උරුම උනු අත්තටු_____ විදාහැර
කවි ලොව සැරිසරා කරනෙමි__  පියාසර
විහිදුන මුවඟ හසරැළි මල්_____ සිනාසර
රස හිතවතුනි අවසර මට______ දයාබර

Monday, 2 April 2012

පළමු කූජනය




ඇඟිලි තුඩඟින් සයිබර් අවකාශයට මුදාහරින මගේ සිතුවිලි සියත් කැල "කූජනා" නමින් සයිබර් බ්ලොග් සහෘදයන් වෙත මෙසේ මුදාහරින වගයි...!!