Sunday, 24 June 2012

හෙන්දිරික්කා මල් ගහ යට

ඉස්සර වාගෙම බැතියෙන් සඳ පෝයට ඇවිත්   යනවා
රටා ඇන්ඳ වැලි මිදුලේ තුරු පත් එක දෙක වැටෙනවා
පිණි වැස්සට මුවා වෙලා රෑහි හඬක් හඬ      තලනවා
හෙන්දිරික්කා මල් ගහ යට බට්ටිච්චෙක්  ඉකි බිදිනවා

පිපි රුක් මල් සුවඳ අරන් සිහිල් සුළං ගත සිඹිනවා
පෝය සඳට මුවා වෙලා වළා සේල සළු    උනනවා
නිල් කඳුයායට හිත දී කෙතේ කරල්  කිරි   වදිනවා
නිශා කතගෙ උවමනාව ඉන් පමණක් ඉටු කෙරෙනවා

පාන් පැලේ තාන් එළිය මදි වෙයි ඝනදුර   මකන්න
සේද වළාකුලේ එපා සඳේ එළිය හොරා     ගන්න
හිත අද්දර හුදකලාව තනිකම කුර ගගා    දුන්න
සිල්සුවඳට මුවා වෙලා හැකි වේවිද මකා    ගන්න

තුරු සෙවනැලි මත්තෙන් සඳ එළිය ගලා එන මිඳුලට
කඩුපුල් මල් දෑස් හරියි තුරුල් වෙලා සඳ    සිසිලට
කිමද පලක් සඳ එළියෙන් පාළු අඳුරු වන   වදුලට
මතකය තව තුරුළු වෙයන් සුවයක් වී නෙත කඳුලට

හිත පාරන අතීතයට බැරිනම් සිත වැට    බදින්න
වාන් දමන වේදනාව නොහැක කඳුළු දොර  වහන්න
ජීවිතේට ඉඩ දුන්නත් අතැඟිලි අතරින්   වැටෙන්න
බලාපොරොත්තුවේ එපා යලි මතකෙට පන පොවන්න

No comments:

Post a Comment