පිපුණත් අව් කාෂ්ඨකේ නොම වියැලුන මලේ
නුඹේ සුවඳ හැමදාමත් බඹරු වසඟ කලේ
නෙලා ගන්න අතදිග නෑ පිපුන නෙළුම විලේ
රුවැති මලේ සෙනේ සුවඳ නුඹෙන් කඩා හැලේ
හිරු තෙම නැග එන්න කලින් මොහොතක සුව පතා
සීතල පිණි බිදක් එක්ක කලත් මුකුළු කතා
පාට පාට සමනලයකු කැරකුන බව ගොතා
ලෙලෙනා සුළගට හැකිවෙද පතුරුවන්න කතා
වැදී නටුව අග කටුවක් බඹරිදු නද දෙන්නේ
මල් පෙති මත සමනල සලකුනු සොයමින් යන්නේ
රටා ඇන්ද මද සුළගේ මුනිවත සුරකින්නේ
මලක මෙලෙක බඹර සිතක් නෑ තව හදුනන්නේ
නෑඹුල් මල් සුවඳ අරන් හෙට තව මල් පිපෙවී
ඒ මල් කිති කවමින් සමනලු මල් රොන් උරාවී
බඹර තුඩග රැදි උනුසුම මල ළග තනි රකීවී
බඹරෝ නුඹ යලි එන විට ඇය මිලිනව තියෙවී
විලකට හැඩයි ඇත්නම් පිපි විලේ පියුම්
මලකට හැඩයි එහි ඇති පෙති තියන සියුම්
සිතකට සුවයි නෙක සිතුවිලි පුරන පෙරුම්
මවකට අගෙයි පිවිතුරු හොඳ දුවෙක් උතුම්
සුන් දර කවිය පන්හිද මෙතුවක් ලිව්ව
පින් සර සුවඳ නුඹ අම්මගෙ හිත නිව්ව
මන් දිර සදළුතල නොව මහ ගිරි පව්ව
නිම් තෙර අසල සැනහෙමි නුඹ විත් මැව්ව
පැහැසර උදෑසන නටනා පිණි බින්දූ
ඇහැ වගෙ බලාගන කිව්වා ගී සින්දූ
නැහැමොහොතකටවත් නෙත වෙනතක රැන්දූ
පැහැසරණියේ මට මනු ලොව සිරි කැන්දූ
පිණි කැටයක් වගේ නලවන මලක පෙතී
දිණි තිය සොබාදම රැකවල් කරයි නිතී
මිණිමුතු කණක සොර සතුරන් අතට යතී
හිණි පෙත සොයා ඉගනුම කෙරුවොතින් ඇතී
ගන්වා සිනා හසරැලි මල් මුව පොඩිය
අල්වා අතැඟිල්ල නිවැරදි මඟ අඩිය
නන්වා මිනිස් කම ලෙලදෙන ජය කොඩිය
පෙන්වා දියන් ලෝකෙට ළදකගෙ එඩිය
සූරිය උදාවන විට ඉරගල කන්දේ
මැණිකෙගෙ මුව අගෙයි මුදු හසරැලි ඇන්දේ
ඇය පා තබා යන තාලෙට බට ලන්දේ
ළැම සාපැටව් නොම ඇහැරී සැප නින්දේ
මත් වී බිඟුන් වන මැද රොන් සොයනවලු
නෙක නෙක රටා මද සුළගත් අදිනවලු
දී රැක වරණ මැණිකෙට ඉග නෙරිය සලු
වැටෙනා කඳුළු නාදලු පෙති පිසිනවලු
ඉස්සර වාගෙම බැතියෙන් සඳ පෝයට ඇවිත් යනවා
රටා ඇන්ඳ වැලි මිදුලේ තුරු පත් එක දෙක වැටෙනවා
පිණි වැස්සට මුවා වෙලා රෑහි හඬක් හඬ තලනවා
හෙන්දිරික්කා මල් ගහ යට බට්ටිච්චෙක් ඉකි බිදිනවා
පිපි රුක් මල් සුවඳ අරන් සිහිල් සුළං ගත සිඹිනවා
පෝය සඳට මුවා වෙලා වළා සේල සළු උනනවා
නිල් කඳුයායට හිත දී කෙතේ කරල් කිරි වදිනවා
නිශා කතගෙ උවමනාව ඉන් පමණක් ඉටු කෙරෙනවා
පාන් පැලේ තාන් එළිය මදි වෙයි ඝනදුර මකන්න
සේද වළාකුලේ එපා සඳේ එළිය හොරා ගන්න
හිත අද්දර හුදකලාව තනිකම කුර ගගා දුන්න
සිල්සුවඳට මුවා වෙලා හැකි වේවිද මකා ගන්න
තුරු සෙවනැලි මත්තෙන් සඳ එළිය ගලා එන මිඳුලට
කඩුපුල් මල් දෑස් හරියි තුරුල් වෙලා සඳ සිසිලට
කිමද පලක් සඳ එළියෙන් පාළු අඳුරු වන වදුලට
මතකය තව තුරුළු වෙයන් සුවයක් වී නෙත කඳුලට
හිත පාරන අතීතයට බැරිනම් සිත වැට බදින්න
වාන් දමන වේදනාව නොහැක කඳුළු දොර වහන්න
ජීවිතේට ඉඩ දුන්නත් අතැඟිලි අතරින් වැටෙන්න
බලාපොරොත්තුවේ එපා යලි මතකෙට පන පොවන්න
සුවඳ කැකුළු මල් තලලා සමනලුන්ට පැණි උරන්න
පාට පාට කුරුල්ලන්ට හඬ දුන්නා ගී කියන්න
සිත් විමනට සෙනෙහස දී කීතු කීතු කර දමන්න
නුඹ කොහොමද එරෙහි වුනේ එය විතරක් කියා දෙන්න
සීත පවන් දැවටිලා මල් මත තොල් පෙති තියා
මලේ සුවඳ අරන් හෙමින් කොහෙදෝ ඈතට ගියා
මතක කදුළු ඉතිරිලා හදේ කොනක කවි ලියා
මෙතුවක් නොලියූ කවියක් දුන්නා නුඹ මට කියා
රෑ හීනෙක හමු වෙලා අතැගිලි යුග පටලලා
සුසුම් සුවද විද ගන්නට හිටියෙමි පෙර මග බලා
කටුක කදුලු නෙත පුරා හීන ගියත් බොද වෙලා
වස්සානය ගෙන දෝතට ඉමි පෙර මග නෙතු හෙලා
සමනලයෙකු තටු සලා
රෝස මලක හැංගිලා
තුරු වදුලේ බට්ටිච්චෙක්
හෙමිහිට එබිකම් කලා
පිපුනු කුසුම් අතු අඟ
නැමී කරටි එන මඟ
සිසිල් සුළං ගත සිබිනවා
වෙනදා වගෙ නෑ දඟ
පිනි අහුරක නෑවිලා
සුවඳ දසත පතුරලා
සමන් පොට්ටු ඇස් අරින්න
ඉන්නවා පෙරමඟ බලා
තිත්ත පැටව් වක්කඩ
අමතක කර කොක්තුඩ
පොරකන්නේ මේ විදිහට
බලන්න දියණිගෙ හැඩ
පැය දින සති වී ගෙන
ඇත කාලය ඉගිලෙන
සිගිති දෙපා ගැටුනු බිමේ
අද එයි ඇය දිවගෙන
ලැබ සක්විති විදුනැණ
අබරණ කුමටද වෙන
කිතුගොස මේ පවසන්නේ
කුලවත් දියණිගෙ ගුන
තුටු කඳූලැලි නෙත ඉනූ
සිතුවිලි කඳ ඉවසනූ
දෙපා වැළද නමදින ඈ
සිප ගන්නට ඉඩ දෙනූ
සියපත් තඹර අතරේ පෙති පිරුනු ගොමූ
මිහිරද උරයි රොන් නාදය සමඟ ගුමූ
සුදු අරලියා සුවඳයි නිති පවනෙ හැමූ
විදු බිම අකුරු කළ සමරමි සිරස නැමූ
හිරු නැඟ එද්දි රන්අරුනළු කරලා___ මුදුන්
ගී පද ගයයි සියොතුන් කැල උයනෙ_ නදුන්
සිහිපත් කරන් කවි කම දුන් ගෙදර___ බුදුන්
දෙපතුල් නැමැඳ තවරන්නම් සුවඳ___ සඳුන්
කවියට උරුම උනු අත්තටු_____ විදාහැර
කවි ලොව සැරිසරා කරනෙමි__ පියාසර
විහිදුන මුවඟ හසරැළි මල්_____ සිනාසර
රස හිතවතුනි අවසර මට______ දයාබර